දක්නට නොමැති බවට වූ සහතිකය (CoA)

දක්නට නොමැති බවට වූ සහතිකය යනු දක්නට නොමැති බව, අතුරුදහන් හෝ සොයාගත නොහැකි බව සනාථ කරන නෛතිකව වලංගු ලේඛනයකි. එමගින් අතුරුදහන් වූ හෝ අතුරුදහන් කරවන ලද පුද්ගලයකුගේ ඥාතියෙකුට ඔහු/ඇය වෙනුවෙන්, සුබසාධන සේවාවන් සහ වෙනත් පරිපාලනමය කටයුතු වෙත පිවිසීම ඇතුළු නීතිමය අයිතීන් ලබාගැනීමට හැකියාව ලබා දෙයි. 2016 අංක 16 දරන මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධි විධාන) (සංශෝධන) පනත අනුව රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබේ. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් නිකුත් කරන ලද අතුරු වාර්තාවක් මත පදනම්ව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට දක්නට නොමැති බවට වූ සහතිකයක් නිකුත් කළ හැකි ය. නීතිය අනුව, දක්නට නොමැති බවට වූ සහතිකය වසර 2ක කාලයක් වලංගු වන අතර නැවත අලුත් කළ හැකි ය. දක්නට නොමැති බවට වූ සහතිකය ලබාගැනීමෙන් අතුරුදහන් වූ හෝ අතුරුදහන් කරවන ලද පුද්ගලයන් පිළිබඳව සොයාගැනීම සම්බන්ධ විමර්ශනයන්ට බාධා පැමිණෙන්නේ හෝ ඒවා අවසන් වන්නේ හෝ නැත. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය අතුරු වාර්තා සඳහා වන අයදුම්පත්‍ර සැකසීම 2020 මුල් භාගයේදී ආරම්භ කෙරිණි. 2020 අගෝස්තු සහ සැප්තැම්බර් අතර කාලයේදී විමසීම් සිදු කරන ලද අතර අතුරු වාර්තා 54 ක් නිකුත් කරන ලදී. විමසුම් සිදු කිරීමේ ක්‍රියාවලියට කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් දැඩි බලපෑමක් ඇති විය. කෙසේ වෙතත්, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය තවමත් අතුරු වාර්තා අයදුම්පත්‍ර ක්‍රියාවලිය සිදු කරගෙන යයි.